ශ්‍රී ලංකාව තව දුරටත් විවෘත ආර්ථිකයක් වශයෙන් පැවතිය යුතුද?

මේ සටහනට පාදක වෙන්නේ   ජපානයේ ‍ ශ්‍රී ලංකා  ශිෂ්‍ය සංවිධානයේ  සහ  ජපානයේ ශ්‍රී ලංකා ශාස්ත්‍රඥයන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද  Should Sri Lanka Still Be an Open Economy: Realities and Rhetoric යන මාතෘකාව යටතේ මා දැක්වූ අදහස් වල සිංහල සාරාංශයයි. මේ සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න විසින් පළකරන්නට  යෙදුණු Economic Freedom of Sri Lanka: Twists and Turns යන ලිපිය සහ ඔහු ඉහත දැක්වූ සාකච්චාවේ ගෙනහැර දැක්වූ අදහස් මතයි. ඔහුගේ ඒ ලිපිය සම්පූර්ණයෙන් කියවීමේ අවස්ථාව ඔබ සැමට ලැබෙනු ඇති බව  මාගේ  විස්වාසයයි. මේ සටහන කාල් මාක්ස් මිය ගොස් වසර 138 ක් වන අද දවස සනිටුහන් කිරීමටත්, මානව සමාජය වෙනුවෙන් මාක්ස්ගේ අසමසම කාර්යභාරයට පිදෙන කුඩා උපහාරයක් වශයෙනුත් සලකන්නට මම කැමැත්තෙමි. 

මේ සාකච්ඡාවට මගේ දායකත්වය යයි මා විශ්වාස කරන්නේ දාර්ශනික සහ දේශපාලනික  දායකත්වයක්.  විවෘත ආර්ථිකය සහ වෙළඳපල ආර්ථිකය  යන වචන සාකච්ඡාවේ  මතු වූ නමුත් මෙහි මතු නොවූ වචනය ධනවාදය යන්නයි (The missing word is capitalism).   ධනවාදය  යන්න සංකල්පගත කිරීම විවෘත ආර්ථිකය සහ වෙළෙඳපොළ ආර්ථිකය යන වචන සංකල්ප ගත  කිරිමට වඩා ගැඹුරු දාර්ශනික  මෙන්න මේ යුගයේ අප මුහුණ දෙන අතිශය වැදගත් ‍ද්‍රව්‍යාත්මක කොන්දේසි තේරුම් ගැනීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය පමණක් නොව අතිශය තීරණාත්මක ශාස්ත්‍රීය  සංවාද ධනවාදය   මගහැර යන්නේ ඇයි?  විශේෂයෙන්ම ආර්ථික විද්‍යා ශාස්ත්‍රීය සංවාද ධනවාදය සංකල්පගත කිරීම මතු නොව ධනවාදය යන වචනය වත් තමන්ගේ ශාස්ත්‍රීය ව්‍යාපෘතීන් තුළ ස්ථානගත කිරීමේ සංවිධිත මැලිකමක් දක්වයි.  වසර හතළිහකට වැඩි කාලයක් නව සම්භාව්‍යවාදී ආර්ථික විද්‍යාව සහ නව ලිබරල්වාදී සමාජ ක්‍රමයක් න්‍යාය සහ භාවිතය වශයෙන් පරිශීලනය කළ සමාජයකට අත්විය හැකියි ඛේදනීය තත්ත්වයක් වශයෙන් මා මේ ශාස්ත්‍රීය බෙලහීනතාව  සලකුණු කිරීමට කැමැත්තෙමි.  එනිසාවෙන් Should Sri Lanka Still Be an Open Economy: Realities and Rhetoric යන මාතෘකාවට මා ප්‍රවේශ වන්නේය මේ මොහොතේ ධනවාදය ගැන මගේ කියවීම කුමක්ද යන අස්ථානය  මත  පිහිටමිනි.   එනිසාවෙන් ඉහත අප නඟන පැනයට,   එනම් ශ්‍රී ලංකාව තවදුරටත් විවෘත ආර්ථිකයක් වශයෙන් පැවතිය යුතු ද යන්න සලකා බැලිය යුත්තේ ගෝලීය ධනේශ්වර  ගතිකයන් සහ අපේ සමාජයේ නිෂ්පාදන සම්බන්ධතාවන්  විප්ලවය පරිවර්තනයකට ගෙන යා හැකිද යන කොන්දේසි මතයි.  සාම්ප්‍රධායික ආර්ථික විද්‍යාව  යාන්ත්‍රිකව ඉදිරිපත් කරන  නිගමන සහ නිර්දේශ  අපි ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ  මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව විකල්ප සිතීමක් ඉදිරිපත් කිරීමෙන් මිස ආධානග්‍රාහීව නොවේ.  එනිසා මගේ වෑයම වන්නේ යම් විකල්ප සිතීමක මේ සංවාදයත් ශ්‍රී ලංකා දේශපාලන ආර්ථිකයත් සිතියම් ගත කිරීමටයි. 

1.  මූලික වශයෙන් ධනවාදයේ පහත  මානයන් ඉහත මාතෘකාවට අදාලව පුනර්ස්ථාපනය කිරීමට මා කැමතියි.

 1. ධනේෂ්වර සංවර්ධන යනු කුමක්ද? 

2. මේ  නිශ්චිත ඓතිහාසික  මොහොතේ ධනේශ්වර සංවර්ධනය යනුවෙන් අපි අර්ථකථනය කරන්නේ කුමක්ද?  එහි ගෝලීය තත්වය කුමක්ද සහ  එහි වෙනස් වෙමින් යන මානයන් මොනවාද? 

 3. පසුගාමී ධනේෂ්වර රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ‘ඓතිහාසික ආර්ථික අර්බුදය’ වශයෙන් අප හඳුනාගන්නේ කුමක්ද? 

මේ මානයන් තුන හුදුව ගත්තත් එක්ව ගත්තත් ඒවා අතිශයින් සංකීර්ණ මානයන් බව කිව යුතු නොවේ.  එනිසාවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීම සහ අනාගතයේ තීරණය කිරීම යන්නත් අතිශයින් සංකීර්ණ සහ තීරණාත්මක ක්‍රියාවලියක් වන්නේ මේ ධනේශ්වර සංකීර්ණතා නිසාවෙන්මයි.   සමකාලීන සංවර්ධන ආර්ථික විද්‍යාව (Development Economics) ධනේශ්වර සංවර්ධනය පිළිබඳව දරන ආකල්පය කුමක්ද?  ධනේශ්වර සංවර්ධනය පිළිබඳව පශ්චාත් යටත්විජිත සංකල්ප ගත කිරීමට එහා යමක් සමකාලින සංවර්ධනවාදී ආර්ථික විද්‍යාව අපට පැහැදිලි කරන්නේ නැත.  එයට බලපාන බහුමානී,  සංකීර්ණ හේතු කරනාවක් තිබිය හැකි  නමුත්  එහි පතුලේ ම තිබෙන කාරණය අතිශය දෘෂ්ටිවාදී එකක්.  උදාහරණයක් වශයෙන් කාල් මාක්ස් ඉදිරිපත් කරන ප්‍රාථමික සංකේන්ද්‍රණ ක්‍රියාවලිය  නැත්නම් මූලික සමුච්චන  ක්‍රියාවලිය (Primitive accumulation of capital) යන ඓතිහාසික තත්වයන් වලට  ගමන් කිරීමට මෙම න්‍යායාත්මක  එළඹුම මැලිකමක් දක්වයි.  එසේත් නැත්නම් ධනවාදයේ ඓතිහාසික සංවර්ධන ක්‍රියාවලිය යම්  විකෘති කිරීම සහ නිෂ්පාදන බලවේග වල ස්වයංජාත සම්මිශ්‍රණය යන තර්කයට මුසු කරමින් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් ගෝලීය සහ ‍ශ්‍රී ලංකාවේ සංවර්ධන ආර්ථික විද්‍යාව තුළ දැකිය හැකියි.  මෙහි වඩාත්ම නූතන තත්ත්වය වන්නේ ගෝලීය පර්යේෂණ ආධාර සපයන ආයතන වල අනුබලය සහ මගපෙන්වීම යටතේ සිදුකරන පර්යේෂණ මගින් සංවර්ධනය ඉතිහාසය සහ අනාගතය නැවත ගොඩනැංවීමට ලක්කිරීමයි (Reconstruction of history and future). විශේෂයෙන්ම 1970 මෙපිටට ගොඩනැඟූ ආර්ථික විද්‍යාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් නම්  න්‍යාය තුළ  දේශපාලනය සහ දෘෂ්ටිවාදය ප්‍රතික්ෂේප කරමින්  දිගින් දිගටම දේශපාලනය සහ දෘෂ්ටිවාදය සමග ඓන්ද්‍රියව සම්බන්ධ වීමයි.  වෙනත් ආකාරයකට සටහන් කරන්නේ නම් න්‍යාය තුළ ඉතිහාසහරණය (Dehistoricization)  සහ සමාජහරණය (Desocialization) යන කේන්ද්‍රිය ක්‍රියාවලිය  මගින් සිද්ධ කරන්නේ අලුත් ඉතිහාසයක් ගොඩනැංවීම සහ අලුත් සමාජ සම්බන්ධතා පිළිබඳව වියමනක් පවතින සමාජ සම්බන්ධතා මත උපරිආරෝපණය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ‘ගෝලීය ශ්‍රම බලකායක්’ නිර්මාණය කිරීමයි. 

මේ නිශ්චිත මොහොතේ ය අප ධනේශ්වර සංවර්ධනය පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුත්තේ ඇයි?  අප  ජීවත් වන්නේ  ධනවාදයෙන් නිවුන් අර්බුද දෙකක් අතර. එනම් 2008 ගෝලීය මූල්‍ය අර්බුදය විසින් ඇති කරන ලද දරුණු පසුබෑම දියුණු ධනේශ්වර රටවල් වලින් සම්පුර්ණයෙන් පහ නොවූ තත්ත්වයක සහ 2020 කොරෝනා වසංගතයේ විසින් ඇති කරන ලද ආර්ථික නොව පැවැත්මේ ඛේදවාචකය අපව සහමුලින් වෙලාගත් අර්බුදකාරී වාතාවරණය තුළ. 2008 ගෝලීය මූල්‍ය අරමුණු අර්බුදය අප සනිටුහන් කළ යුත්තේ 1977 න් පටන් ගෙන ඉදිරියට ගලා ගිය ධනේෂ්වර සංවර්ධන ක්‍රියාවලිය එහි පටන්ගැන්මේ පටන් දරා සිටි අර්බුදයක් වශයෙන්.  මේ ගැන වැඩි දුරටත් ඔබ කියවීමට කැමති නම් කරුණාකර මහාචාර්ය මයිකල් රොබට්ස් ගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න. ධනවාදයේ මේ ලාභ අර්බුදය (Profitability crisis) තේරුම් ගැනීමෙන් තොරව අප ශ්‍රී ලංකා ආර්ථිකය ලෝක ආර්ථිකය තුළ ස්ථානගත කිරීම සහ  යම් විදිහකින් ශ්‍රී ලංකා ආර්ථිකයේ පරිවර්තනයක් අපේක්ෂා කරනවා නම් එය සිදු කරන්නේ කෙසේද?  මා තර්ක කරන්නේ එසේ කිරීම ආධානග්‍රාහී පමණක් නොව අනතුරුදායක ක්‍රියාවලියක් බවයි.  යම් විදිහක මා එය සමාන කරන්නේ ග්‍රීසියේ ආර්ථික අර්බුදය තේරුම් නොගෙන ග්‍රීසියේ බැඳුම්කර වල ආයෝජනය කිරීම මුග්ධ සහ විනාශකාරී ක්‍රියාවලියට. 

Source: Michael Robert’s Blog, The Next Recession
Calculated and prepared by Michael Roberts, 2020

එමෙන්ම වසර හතළිහක් තුළ විවෘත ආර්ථිකය යැයි අප හඳුන්වන ක්‍රියාවලිය තුළ අප අත්පත් කරගෙන තිබෙන දෑ  ආර්ථික මානයකින් නොව සමාජීය මානයකින් බැලීමට තරම් අපට ශික්ෂණයක් සහ විධික්‍රමයක් සමාජයක් වශයෙන් අප ගොඩ නගා ගෙන තිබෙනවාද? යන ප්‍රශ්නය  මා සලකුණු කිරීමට කැමතියි. පසුගාමී ධනේෂ්වර  සමාජයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පන්ති අරගලයේ ස්වභාවය, සමාජ සම්බන්ධතා සහ විමුක්තිකාමි විභවයන් පිළිබඳව සාකච්ඡාව අප නැවත වරක් සංවාදයට ගත යුත්තේ සහ දේශපාලන ක්‍රියාවලිය තුළ ඒවා සිතියම් ගත කළ යුත්තේ මේ නිසාවෙන්. 

2. දෙවනුව,  මේ මාතෘකාව වඩා කාලීන වන්නේ ඇයි යන්න මා සටහන් කිරීමට කැමති වන්නේ මේ මාතෘකාවට  සාම්ප්‍රදායික විශ්ලේෂණ වලින් ලැබෙන පිළිතුර සහ ඉන් එළඹෙන නිගමන වලට වඩා වෙනස් යථාර්ථයක් මත පිහිටා අප තේරුම් ගත යුත්තේ ඇයි යන ප්‍රශ්නය මට නැගීම හැකියාවක් ඉන් ලැබෙන නිසාවෙන්.  එනිසාවෙන් පහත දැක්වෙන මානයන් මා විශේෂ කොට දැක්වීමට කැමතියි.

පළමුවැන්න  වන්නේ  ගෝලීය වසංගතය විසින් ඇති කරන ලද  සමාජ පැල්ම (Global social rupture) තුළ නිෂ්පාදන සම්බන්ධතා ප්‍රති නිර්වචනය කිරීමට ලක් කරන්නේ කෙසේද සහ සමාජයක් වශයෙන් ශ්‍රී  ලංකා සමාජය එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන  මානයයි.  නිර්මාණය වෙමින් පවතින අභියෝගාත්මක  තත්ත්වයන්ට මුහුණ දීමට අප කිසිසේත්ම සූදානම් නොමැති බව  රහසක් නොවේ.  මේ මොහොත සියලු රාජ්‍යයන් තමන්ගේ ප්‍රතිපත්ති  නැවත  අගයමින් සහ ආර්ථික සූත්‍රගත කිරීම් විප්ලවීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන කාලසීමාවක්.  විශේෂයෙන්ම ගෝලීය බහුජාතික සමාගම් වලට අඩු කොන්දේසි යටතේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ නිදහසක් රජයෙන් විසින් ලබාදීමේ සහ ආර්ථික කටයුතුවලින් රජයේ ස්වයංව ඉවත් වීමේ ප්‍රවණතාවක් මේ යුගයේ දැකිය හැකි වනු ඇත. මෙවැනි ලෝක වාතාවරණයක් තුළ  දු දුර්වල අභ්‍යන්තරික සැකැස්මකින් පූර්ණ විවෘතභාවය ගැන සාකච්ඡා කිරීම කොතරම් තීක්ෂණ දැයි අප නැවත ප්‍රශ්න කළ යුතුයි. 

දෙවනුව අප අමතක නොකළ යුත්තේ සමස්ත ලෝක ධනේශ්වර ක්‍රමයේ ලාභ  අනුපාතිකයේ වර්ධනය ප්‍රතිශතකයක් වශයෙන්  ඍණ වර්ධනාන්කයක් දක්වා 2020 වර්ෂයේ දී ගමන් කළ බවයි.  එහි දේශපාලන  හැඟවුම කුමක්ද?  මේ සමස්ත  ඍණ වෘද්ධිය අප කොරෝනා වසංගතය නිසා සිදු වූවක් යයි උපකල්පනය කරන්නේ නම් එය නිවැරදි නොවේ.  ඒ පිටුපස තිබෙන ධනවාදයේම ඓන්ද්‍රිය අංගයන් වන අතිරික්ත වටිනාකම වර්ධනය (the growth of rate of surplus value) සහ ‍ප්‍රග්ධනයේ ඓන්ද්‍රිය සංයුතියේ වර්ධනය (the growth of organic composition of capital) දෙස නොබලමි කරන විශ්ලේෂණ අසාර්ථක වන්නේ මේ නිසයි. එවැනි වඩා තරගකාරී ගෝලීය ආර්ථික තත්ත්වයක් තුළ ආරක්ෂණවාදී ආර්ථික උපක්‍රම (Protectionist) සහ ප්‍රාග්ධනයේ සංචලනය (capital mobility) මෙන්ම සූරාකෑමේ කොන්දේසි වඩාත් තීව්‍රවීම  පිළිබඳව සංයුක්ත විශ්ලේෂණයකින් තොරව අප ආර්ථික විවෘතභාවය පිළිබඳව සාකච්ඡා කළ  යුතුද?  වඩා විවෘතව වෙළෙඳපොළ කොන්දේසි යටතේ මැදපෙරදිග සේවය සඳහා පිටත්  කර හැරුණු ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැන්මට  වත් ගැලපෙන වැඩපිළිවෙලක්  අපට තිබුණේ ද?  කෝවිඩ් එවන රැල්ල මතුවන ඇඟලුම් ශාලාවේ සේවක සේවිකාවන්ට මරණීය කොන්දේසි යටතේ තමන්ගේ සේවය සැපයීමට සිදු වන්නේ ඇයි?    වෙළඳපොල තරඟය සහ ලාභයේ අත්‍යන්ත ප්‍රතිඵල පිළිබඳව අප තවත් සාක්ෂි  අප සමාජයක් වශයෙන් ඉල්ලා සිටිය යුතුද? මේ මාතෘකාව වඩා තීරණාත්මක වන්නේ මේ සංකීර්ණ  අභ්‍යන්තරික කොන්දේසි සහ සමාජ සම්බන්ධත වලට නැවත වතාවක් ගමන් කිරීමේ හැකියාව අපට ලැබෙන නිසාවෙන්. 

තෙවනුව,  වසර හතළිහක් පුරා විවෘත වෙළඳපොල ආර්ථිකය තුළ ආර්ථිකය විසින් අත්පත් නොකරගත්  ගතික ස්වභාවය සහ සමෘද්ධිය  අපට පෙන්වා දෙන්නේ ආර්ථිකය අර්බුදයේ පමණක් නොව දේශපාලන පන්තියේ අර්බුදයයි.  මම මෙය හඳුන්වන්නේ, මහාචාර්ය  කුමාරි ජයවර්ධනගේ  තීසිසය  පුළුල් කරමින්,  Somebodies to  Zombies  වශයෙන්.  එනිසාවෙන් මේ ආර්ථික අර්බුදය තේරුම් ගන්නවා යනුම සමකාලීන බුෂුවා දේශපාලන පන්තියේ අර්බුදය තේරුම් ගැනීම යන්නයි.

එනිසාවෙන්,  මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදය තේරුම් ගැනීම සහ එයට ප්‍රවේශ වීම යනු  මා ඉහත දැක්වූ මානයන් පිළිබඳව  තීක්ෂණ අධ්‍යයනයකින් අනතුරුව  එළැඹෙන්නක්  විය යුතුයි. 

3. තෙවනුව,  මහාචාර්ය සිරිමල් අබේරත්න තමන්ගේ ලිපියේ ගෙනහැර දක්වන දාර්ශනික  ආස්ථානයට මගේ විවේචනය කෙටියෙන් මෙසේ ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.  නිදහස සහ ආර්ථික නිදහස යන්න ඔහු තමන්ගේ ලිපියේ  සංකල්ප ගත කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. 

‘’ As human beings cherishing the concept of “freedom”, we have a choice before us as to whether we must allow ourselves to make our personal choices or not. In clarifying this choice, Milton Friedman quoted Friedrich Hayek: “We are still free as a people to choose whether we shall continue speeding down the “road to serfdom,” as Friedrich Hayek entitled his profound and influential book, or whether we shall set tighter limits on government and rely more heavily on voluntary cooperation among free individuals to achieve our several objectives.” (Friedman and Friedman 1980:6). As the quotation implies, a major role is played by the government in deciding how much of economic freedom is allowed for the citizens. Equally important is that the citizens too play a major role in getting the governments to curb their own economic freedom.’’

මේ සංකල්ප ගත කිරීමේ ඇති  මූලධාර්මික අර්බුදය කුමක්ද?  සහ  මේ සංකල්පගත කිරීම 2008 න් මෙහා ධනේශ්වර සංවර්ධනය සහ එයින් ලැබෙතැයි උපකල්පනය කරන  සමාජ  නිදහස  අර්ථකථනය කර ගැනීමේ ඓතිහාසික  සීමාකම කුමක්ද?  විශේෂයෙන්ම  ෆෙඩ්රික් හයෙක්  හ මිල්ටන් ෆ්‍රීඩ්මන්  මේ නිදහසේ අර්ථකථනය සිදුකරන්නේ නිශ්චිත දේශපාලන ආර්ථික සන්දර්භයක් තුළයි. 1944  හයෙක් තමන්ගේ Road to Serfdom  රචනා කරන්නේ  කොමියුනිස්ට්වාදී නැගීමට විරුද්ධව පමණක් නොව රාජ්‍ය ආර්ථිකයට මැදිහත්වීම සහ සැලසුම් කිරීම  යන මූලධර්ම පදනම් කරගත් කේන්සියානු වාදයෙ පදනමට පහරදීමේ අරමුණ පෙරදැරි කරගෙන.  මේ අරමුණ පුර්ණ වශයෙන් විකසිත වන්නේ 1973 විට  කෙන්සියානුවාදයට පැවති ගෝලීය ආධිපත්‍යය සම්පූර්ණයෙන් අහෝසි වී ගොස් ෆ්‍රීඩ්මන් ගේ මග පෙන්වීම්  සේ නිර්මාණය වන මුල්යවාදය ලෝක ආර්ථිකයේ සහ න්‍යායයේ ආධිපත්‍යය තමන් යටතට ගනිමින්.  නව ලිබරල්වාදය යනු  මූල්‍ය ආධිපත්තිය  පන්ති අරගලයේ ප්‍රකාශනය. එහි තාර්කික අවසානය 2008 ගෝලීය මූල්‍ය අර්බුධය. ලෝක මහා අවපාතය සහ  දෙවැනි ලෝක යුද්ධය යන තීරණාත්මක කාලසීමාව තුළ නිර්මාණය වන දාර්ශනික දැනුම් පද්ධතිය එහි දේශපාලනික දේහ විපර්යාසය  සම්පූර්ණ කර ගන්නේ වොෂින්ටන් සම්මුතිය  හරහා නිර්මාණය කරගන්නා ලාභයේ දස පනත (Ten commandments of capitalist profitability) ඔස්සේය. මෙහි බුද්ධිවාදී ව්‍යාපෘතිය වන්නේ Mont Pelerin  සමාජය.  ඒ නිසාවෙන් මා සලකුණු කිරීමට කැමති තවත් එක් වැදගත් කරුණක් නම්,  මේ දාර්ශනික ඉගැන්වීමේ ඉතිහාසය  අවසන්ව ඇති බව ( එසෙත් නැත්නම් ෆ්‍රැන්සිස් ෆුකුයාමගේ තීසිසයේ දයලෙක්තිකය වශයෙන් මේ අලුත් ඉතිහාසය සනිටිහන් කරන්නට කැමතී.).  මේ නිදහසේ දර්ශනය අවසන් වන්නේ, 2020 දී  නිදහස සම්බන්ධයෙන්  අප ආර්ථිකවාදයෙන් එහා ගිය අලුත් පරිකල්පනයට යා යුතු නිසා පමණක් නොව  සංයුක්ත සමාජ දේශපාලන විග්‍රහයකින් තොරව නිදහස සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කවර හෝ සංකල්පගත කිරීමක් අපි පියවි සමාජ කතිකාව  තුළ නැව විභාගට යුතු නිසා වෙන්.  එනිසාවෙන් නිදහස පිළිබඳව හයෙක් සහ ෆ්‍රීඩ්මන්ගේ ආස්ථානය  මා නැවත වතාවක් පුනර්ස්ථාපනය  කිරිමට උත්සහ කරන්නේ ප්‍රාග්ධනය විසින් මානව නිදහස කොතරම් දුරට සීමා කර ඇතිද යන්නත් ඒ සීමාකම සීමාකමක් නොවන පරිදි දැකීමේ දෘෂ්ටිවාදයක් අප තුළ රෝපණය කිරීමේ කොතරම් සමත්කමක් ධනේශ්වර ක්‍රියාවලිය විසින් අපට ඉතිරි කර ඇද්ද යන්න යන තිසිසේ තුළයි.  එමෙන්ම තීරණ ගැනීමේ නිදහස,  නැත්තම් ආත්මීයත්වය  ගවේෂණය කිරීමේ නිදහස කොතරම් සුළු පිරිසක් අත සංකේන්ද්‍රණය වුවක්ද යන්න අප මෙහිදී අනිවාර්ය වශයෙන් තේරුම් ගත යුතු දෙයක්. 

The Road from Mont Pelerin: The Making of the Neoliberal Thought  Collective: Mirowski, Philip, Plehwe, Dieter: 9780674033184: Amazon.com:  Books
Masters of the Universe (book) - Wikipedia

4. සිව්වෙනුව,   මා කැමැති මගේ  විවේචනය මෙසේ   පළල් කිරීමට.  බොහෝ ලිබරල් සහ  නවලිබරල් සංවාද වල මෙන්ම න්‍යායගත කිරීම් වල රජය,  ආරක්ෂණවාදය සහ  මාක්ස්වාදී එළබුමකින් විග්‍රහ කෙරෙන ප්‍රාග්ධනය සලකන්නේ ඩර්ටි වර්ඩ්ස් (dirty words)  වශයෙන්.  නමුත් ධනේශ්වර ආර්ථිකයේ ඉතිහාසය පිළිබඳව අපි නැවත ගවේෂණය කර බැලිය යුත්තේ  මේ නිසාවෙන්.  ‍ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද ආර්ථික චින්තනයේ ඉතිහාසය විෂය නැවත වතාවක් වඩා උසස් තත්ත්වයෙන් ඉගැන්විය යුත්තේත් ඒ පිළිබඳව පර්යේෂණය අප අලුත් කළ යුත්තේත් මේ බුද්ධිමය දුගීබව විසඳා ගැනීම සඳහායි. රජය ආරක්ෂණවාදය සහ ප්‍රාග්ධන සංකේන්ද්‍රණය යන්න වඩා සංවිධිතව සහ ශක්තිමත්ව පාවිච්චි කර ඇත්තේ ධනේශ්වර සන්කෙන්ද්‍රනවාදී රාජ්‍යය  විසිනි.  උදාහරණයක් වශයෙන් Ha-Joon Chang  තමන්ගේ  කෘති ගණනාවක තර්ක කරන පරිදී දියුණු ධනේශ්වර රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට නිර්බාධිකරණය  අත්‍යන්ත සහ අනිවාර්ය විසඳුම වශයෙන් යෝජනාකරන අතරතුර ඔවුන්  ඔවුන්ගේ සංවර්ධනය  සාක්ෂාත් කරගෙන ඇත්තේ වඩා වෙනස් දේශපාලන ආර්ථික කොන්දේසි මත බවයි. Kicking Away the Ladder  කෘතියේ ඔහු එය මෙසේ සටහන් කරනවා. 

There is currently great pressure on developing countries from the developed world, and the international development policy establishment that it controls, to adopt a set of ‘good policies’ and ‘good institutions’ to foster their economic development.! According to this agenda, ‘good policies’ are broadly those prescribed by the so-called Washington Consensus. They include restrictive macroeconomic policy, liberalization of international trade and investment, privatization and deregulation. The ‘good institutions’ are essentially those that are to be found in developed countries, especially the Anglo-American ones: The key institutions include: democracy; ‘good’ bureaucracy; an independent judiciary; strongly protected private property rights (including intellectual property rights); and transparent and market-oriented corporate governance and financial institutions (including a politically independent central bank).

එනිසාවෙන්   දියුණු ධනේශ්වර රටවල් සහ ධනේශ්වර බුද්ධි ආයතන වල නිර්දේශ රටක් වශයෙන් අප ඒ ලෙසටම පිළිගත යුතුද? Ha-Joon Chang  තම කෘති සිදු කරන සුවිශේෂ දෙයක් නම් දියුණු ධනේශ්වර රටවල ආර්ථික ඉතිහාසය සහ ආරක්ෂණවාදය සම්බන්ධයෙන් ඔවුන්ගේ නැමියාව සාක්ෂි සහිතව ගෙන හැර දැක්වීමයි. 

5.   මෙවැනි  සංකීර්ණ යථාර්ථයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ඉදිරි වැඩපිළිවෙළ මා සිතියම් ගත කිරීමට උත්සාහ කරන්නේ,  අනිවාර්ය වශයෙන් සැ සැලසුම්ගත ආර්ථික සංවර්ධනයක්, නිශ්චිත වශයෙන් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමේ  හැකියාව ඇති සහ නිෂ්පාදන  මාදිලිය සුසමාදර්ශ වෙනසකට සහ  අපේ සමාජයේ විමුක්තිකාමී මානයන් පලල් කිරීමේ හැකියාව ඇති ක්‍රියාවලියක් වශයෙන්. ඒ  අර්ථයෙන් නිදහස ආර්ථිකවාදී එකක් නොව සමාජීය සහ විමුක්තිවාදී එකක්.

මා කැමති මගේ අදහස් දැක්වීම මෙසේ අවසන් කරන්න.  ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට කවියෙක්  වන මහගමසේකර ලියූ කවියක් වන්නේ  කුසලාන යන කවිය.  ඒ  කවිය සිංහලෙන් මෙසේයි.

කුසලානේ ලූ මධුවිත කුසලානේ හැඩය ගනී

කුසලානයේ ලූ විෂ වූව කුසලානේ හැඩය ගනී

අප කළ යුත්තේ  කුසලානයට විවිධ දියර වැක්කිරීමෙන් ‘ආර්ථික නිදහස සහ සමුර්ධිය සෙවීම’ නොව.  ආර්ථිකවාදී බුෂුවා නිදහසේ හැඩයෙන් නිර්මාණය කළ මේ කුසලානය බිඳ දැමීමයි.  එවන් බිඳදැමීමකින් පමණයි අපට මේ පවතින ගෝලීය තත්වය යටතේ ආර්ථික සුසමාදර්ශී වෙනසකට ගමන් කළ හැක්කේ.

කල්ප රාජපක්ෂ 

මාර්තු 14 2020

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Create your website with WordPress.com
Get started
%d bloggers like this: